සමරිසි භීතිකාව, සංක්‍රාන්ති භීතිකාව සහ ද්විරිසි භීතිකාවට එරෙහි ජාත්‍යන්තර දිනය (IDAHOBIT) 2024 – සමානාත්මතාවය, නිදහස සහ සැමට යුක්තිය

May 17, 2024 Bridge Team


LGBTIQ ක්‍රියාකාරිකයෙකු මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස හේශාන් නිලුමින්ද ප්‍රජාවේ අභිවෘද්දීය වෙනුවෙන් පෙනී සිටින තරුණ ක්‍රියාකාරිකයෙකි. හෙතෙම උද්යෝගිමත් තරුණ ක්‍රියාකාරිකයෙකු ලෙස විවිධ ලිංගික අනන්‍යතා හා සමාජභාවී ප්‍රකාශනයන් වෙනුවෙන් වන සමානාත්මතාවය, යුක්තිය සහ සර්ව සාධාරනත්වය උදෙසා නොබියව සටන් කරන තරුණ ප්‍රජා නායකයෙකි.


සමරිසි භීතිකාව, සංක්‍රාන්ති භීතිකාව සහ ද්විරිසි භීතිකාවට එරෙහි ජාත්‍යන්තර දිනය (IDAHOBIT) LGBTQIA+ ප්‍රජාවගේ අයිතිවාසිකම් දිනාගැනීමේ ගමනේදී සිදු වූ ප්‍රගතිගාමී සහ අභියෝගාත්මක සිදුවීම් පිළිබඳ වාර්ෂික අනාවරණය කිරීමක් සේ කටයුතු කරයි. 2005 වසරේදී IDAHOBIT පිහිටු වීම සඳහා මූලික වී ඇත්තේ 1990 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සමරිසිභාවය මානසික ආබාධයක් ලෙස සැලකීමේ තීරණය ඉවත් කරමින් ගත් එම ඓතිහාසික තීරණය අනුස්මරණය කිරීමක් ලෙසය. LGBTQIA+ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටි ඒ දැවැන්ත ඓතිහාසික සටන 1969 වර්ෂයේදී එක්සත් ජනපදයේදී සිදු වූ ස්ටෝන්වෝල් සටනෙහි පුරෝගාමී අඩිතාලමක් ලෙසද මෙම IDAHOBIT සැලකිය හැක.  ආරම්බයේ සිට මේ දක්වා LGBTQIA+ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ සුබ සිද්ධිය උදෙසා පෙනී සිටීමේ අන්තර්ජාතික වේදිකාවක් දක්වා වර්ධනය වූ IDAHOBIT ලොව පුරා රටවල් විශාල ප්‍රමාණයක LGBTQIA+ අනන්‍යතා දරන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ අවදි කිරීමෙ දිනයක් ලෙස සමරනු ලබයි.

2005 වසරේදී ප්‍රථම වරට නම් කල IDAHOBIT දිනය සඳහා ලොවපුරා විවිධ වූ අර්ථකතනයන් දක්වා ඇත. පළමුව 2005 වසරේදී සමරිසි භීතිකාවට එරෙහි ජාත්‍යන්තර දිනය යනුවෙන් IDAHO ලෙස ආරම්භක වූ මෙය 2011 වර්ෂයේදී සමරිසි භීතිකාවට මෙන්ම සංක්‍රාන්ති භීතිකාවටද එරෙහි ජාත්‍යන්තර දිනය යනුවෙන් IDHOT ලෙස වෙනස් විය. 2018 වසරේදී නැවත වරක් යාවත්කාලීන වෙමින් සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සහ අන්තර් ලිංගික භීතිකාවට එරෙහිව ජාත්‍යන්තර දිනය යනුවෙන් IDAHOBIT ලෙස අලුත් වන ලදී. තවද 2022 වසරේදී තවත් ඒ සඳහා පූර්ණ එකතු කිරීමක් ලෙස IDAHOBIT LGBTQIA+ යනුවෙන් කුවියර සහ අලිංගික ප්‍රජාවද ඇතුලත් කරමින් මෙම ජාත්‍යන්තර දිනය වර්තමානයෙහි සමරනු ලබයි.

වසර ගනනාවක් පුරාවට IDAHOBIT සමානාත්මතාවය වෙනුවෙන් ක්‍රියාකරමින් ඉමහත් ප්‍රගතියක් අත්කරගෙන තිබෙන අතර 1978 වසරේදී සිඩ්නි හි පැවති පළමු මාඩි ග්‍රාස් (Mardi Gras pride march) අභිමානවත් පා ගමනට සහභාගී වූ ධෛර්ය සම්පන්න ක්‍රියාකාරීන්ගේ සිට 2017 වසරේදී ඕස්ට්‍රේලියාවේ සමරිසි විවාහ නීතිගත කිරීම දක්වා වූ ජයග්‍රහණ සහ සැමරුම් අවස්ථා සඳහන් කල හැක. කෙසේ වෙතත්, මෙම සියළු ජයග්‍රහණ මධ්‍යයයෙහි වුවද LGBTQIA+ පුද්ගලයින් හට සිදු වන වෙනස්කොට සැලකීම් සහ ප්‍රචන්ඩත්වයන් හි අඳුරු පැතිකඩ පිළිබඳ කටුක යථාර්තයක් පවතී.

ගෝලීය වශයෙන් තිබෙන්නා වූ සංඛ්‍යා ලේඛන දත්ත මඟින් LGBTQIA+ ප්‍රජාව මුහුණ දෙන අභියෝග පිළිබඳ පැහැදිලි සිතුවමක් අවභෝධ කර ගත හැක. එනම් ප්‍රගතිශීලී මෙන්ම ගුණාත්මක ක්‍රියාකාරකම් හි බලපෑම් තවමත් ප්‍රජාව තුලට ඇතුළු නොවී පැවතීම කණගාටුවකට කරුණකි. ඒ හෙයින්  LGBTQIA+ පුද්ගලයන් හට තවමත් ඔවුන්ගේ සේවා ස්ථාන තුලදී, පාසලේදී සහ පොදු මහජනතාවගෙන් විවිධ වූ වෙනස්කොට සැලකීම් සහ හිරිහැර සිදු කිරීම් වාර්තා වෙයි. තවද තමාව අගතියට පත් වේයැයි හෝ වෙනස් කොට සලකයි යන බිය හේතුවෙන් LGBTQIA+ පුද්ගලයන්ගෙන් 68% ක් තම සේවා ස්ථානය තුල ඔවුන්ගේ අනන්‍යතාව හෙලිදරවු කිරීමට බියක් දක්වති. එමෙන්ම LGBTQIA+ තරුණයින් හට වන අපයෝජන ක්‍රියාවන් අනුපාතයද අඛණ්ඩව ඉහල යාමත් ගෝලීය දත්ත මගින් ඉස්මතු කර ඇත. එනම් LGBTQIA+ තරුණයින්ගෙන් 3න් 2ක් ඔවුන්ගේ අනන්‍යතාවය හේතුවෙන් අපයෝජනයට ලක් වේ. තවද තම අනන්‍යතාවය හේතුවෙන් වාචික අපයෝජනයන් සහ හිරිහැර භුක්ති විදීමටද LGBTQIA+ ප්‍රජාවට සිදුවේ.

LGBTQIA+ පුද්ගලයන් ආගමික සිද්ධස්ථාන මගින් පිළිකුලට ලක් කිරීම, අධ්‍යාපනික ස්ථාන මගින් ඔවුන්ව නෙරපා හැරීම, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ උප්පැන්න සහතික සහ අනෙකුත් ලිපි ලේඛන දත්ත යාවත්කාලීන කිරීමේදී රාජ්‍ය නිලධාරීන් මගින් සිදුවන අපහසුතා, සංක්‍රාන්ති ප්‍රජාවගේ වෛද්‍යමය සහ මානසික සෞඛ්‍ය පිළිබඳ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද රජය විසින් කිසිදු අවධානයක් යොමු නොකිරීම සහ අන්තර් ලිංගික පුද්ගලයන් හට ඔවුන්ගේ අවසරයකින් තොරව තම ලිංගික ලක්ෂණ වෙනස් කිරීම වැනි බොහෝ හිරිහැරයන් සඳහා තවමත් LGBTQIA+ ප්‍රජාවට මුහුණ දීමට සිදුව ඇත.

මේ අතරම ලොව පුරා සිටින බොහෝ තරුණ LGBTQIA+ ප්‍රජාව හට ඇති අභ්‍යන්තර භීතිකාව එසේත් නැති නම් තමාට තම වට පිටාව හා පරිසරය නිසා ඇති වන සමරිසි භීතිකාව, ද්විරිසි භීතිකාව, සංක්‍රාන්ති භීතිකාව හේතුවෙන්ද විශාල තරුණ පිරිසක් ගැටළු රාශියකට මුහුණ දෙමින් පවති. තම සංස්කෘතිය, පවුල, මිතුරන්, විශ්වාස පද්ධති, පිළිගැනීම් සහ වෙනත් බාහිර සාධක හේතුවෙන් තමා හට තමාව හැඟෙන දැනෙන ආකාරය කෙරෙහි බලපෑම් ඇති කිරීම මෙම අභ්‍යන්තර භීතිකාවෙහි ලක්ෂණයයි. LGBTQIA+ පුද්ගලයන් ඔවුන්ගේ අනන්‍යතාවය පිළිබඳ සෘණාත්මක කරුණු ඇති වටපිටාවක ජීවත්ව සිටින විට, ඔවුන් එම සෘණාත්මක කරුණු, හැඟීම් සහ විශ්වාසයන් තුල ගැබ් විය හැක.

IDAHOBIT හි විස්තීරණ වූ ගැඹුරු අර්තකථනය මගින් LGBTQIA+ ප්‍රජාව තුළ තිබෙන්නා වූ විවිධ අත්දැකීම් ඇතුළත් කිරීමට සහ ඒවා හඳුනා ගනිමින් ක්‍රියා කිරීමට පහසුකම් සලසනු ලබයි. සමරිසි භීතිකාවට එරෙහිව සටන් කිරීමට පියවර ගත් IDAHOBIT පසුකාලීනව සංක්‍රාන්ති හා ද්විරිසි භීතිකාන්ට එරෙහිව කටයුතු කිරීමද ඇතුලත් කරමින් එහි විෂය පථයන් පුළුල් කර සමාජභාවය සහ ලිංගික දිශානතිය හරහා පුද්ගලයන් මුහුණ දෙන වෙනස්කොට සැලකීම් පිළිබඳ අන්තර් ප්‍රවේශයක් සිදු කලේය. එහි මෑතකාලීන පුනරාවර්තනය තුළ, IDAHOBIT මඟින් අන්තර් ලිංගික පුද්ගලයන් හට සිදුවන වෙනස්කොට සැලකීම් සහ LGBTQIA+ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම ඇතුළුව පුළුල් පරාසයක ගැටළු ආවරණය කරයි.

IDAHOBIT එහි දූරදර්ශී සැලැස්මෙන් ඔබ්බට යමින් ඒවා ක්‍රියාත්මක කිරීම සහ බලමුලු ගැන්වීම සඳහා නවමු ප්‍රවේශයක් එක් කරමින් කටයුතු කරණූ ලබයි. සෑම වසරකම, අධ්‍යාපනික ක්‍රියාකාරකම් තුල සිට ප්‍රතිපත්ති සැකසුම් සහ උපදේශන කටයුතු දක්වා ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් IDAHOBIT හි ක්‍රියාකාරකම් සඳහා සහභාගී වන අතර එය මෙම වසරේ එනම් 2024 වර්ෂය සඳහා “කිසිවෙකුත් අතරමග හැර දමා නොයමු: සමානාත්මතාවය, නිදහස සහ සැමට යුක්තිය” යන තේමාව යටතේ පැවැත්වීමට නියමිතය. තවද LGBTQIA+ අයිතිවාසිකම් සඳහා වන ඉදිරි ගමනේදී සහයෝගීතාවයේ සහ සාමූහික ක්‍රියාකාරීත්වයේ වැදගත්කම මෙමඟින් පෙන්නුම් කරයි.

IDAHOBIT අද වන විට ලොව පුරා LGBTQIA+ පුද්ගලයින් මුහුණ දෙන අභියෝග සහ වෙනස්කොට සැලකීමට එරෙහිව සටන් කිරීමේ වැදගත්කම මුළු මහත් ජනතාවට පෙන්වා දීමට සමත්ව ඇත. මෙම ජාත්‍යන්තර දිනය LGBTQIA+ ප්‍රජාවගේ අනන්‍යතා ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා සකල ලෝ වාසී සියළු ප්‍රජාවන්ගේ සහයෝගය සහ එකමුතුව දිරිමත් කරන ගැඹුරු අර්ථකතනයක් දක්වන දිනයක් ලෙස හැඳින්විය හැක. තවද මෙය මානව හිමිකම් සුරැකීමේ සහ සියළු පුද්ගලයන්ගේ සමාජභාවය හෝ සමාජභාවී ප්‍රකාශනය මත වෙනස්කොට නොසලකා නීතිය ඉදිරියේ සමාන රැකවරණය සහ ගෞරවය හිමි කිරීම යන මූලධර්මය අවධාරනය කෙරෙන දිනයක් ලෙස වැදගත්කමක් දරයි.

ශ්‍රී ලාංකිකයන් ලෙස අප IDAHOBIT සැමරීම තුල වඩාත් ඵලදායී ලෙස සාධාරන සමාජ සංකල්පයක් ගොඩනැගීම සඳහා වන කැපවීම මෙම වසරේදී තහවුරු කිරීම අත්‍යවශ්‍ය වේ. එකාමෙන් නැගී සිටීම තුලින් සහ විවිධ සමාජභාවී අනන්‍යතා දරණ පුද්ගලයන්ගේ හඬ අවධි කිරීම තුලින් සියලු වෙනස්කොට සැලකීම් හා ප්‍රචන්ඩත්වයට එරෙහිව අභියෝග කල හැක. IDAHOBIT මඟින් අප හට මතක් කර දෙන්නේ LGBTQIA+ අයිතිවාසිකම් සඳහා වන අරගලය තවමත් අවසන් වී නැති නමුත් ඉදිරි උපාය මාර්ගික සැලසුම් වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වීම සහ සහයෝගීතාවයෙන්, සෑම කෙනෙකුටම ඔවුන්ගේ ලිංගික දිශානතිය හෝ සමාජභාවය නොසලකා ගෞරවාන්විතව හා සමාජ පිළිගැනීමෙන් ජීවත් විය හැකි ලෝකයක් නිර්මාණය කළ හැකි බවයි. සමානාත්මතාවය අගයන අනාගත සමාජයක් නිර්මාණය කිරීම උදෙසා වන ජාත්‍යන්තර දිනය IDAHOBIT සමඟ අප එක්වෙමු.

#IDAHOBIT #NoTransphobia #equalityforall #NoOneLeftBehind #equalityfreedomandjusticeforall

©Illustration Copyright: Steve Aparicio



Related posts