‘ලිංගිකත්වයට වැඩිය දෙයක් එතන තියෙනවා. එතන මාර ආදරයක් තියෙනවා’

February 21, 2024 Bridge Team


“ආදරේ හැමෝටම දැනෙන්නේ හිතට. ඒ හිතට දැනෙන ආදරේ කාටවත් ලේබල් කරන්න බෑ. වැලන්ටයින් ඩේ එකේදී ඒ මිනිස්සු ගොඩක් ආදරේ කරන මනුස්සයා එක්ක නිදහසේ ආදරයෙන් ඉන්න කැමති අවස්ථා තියෙනවා. ඒත් ඒකට එයාලට කිසිම නිදහසක් නැහැ.”

ආදරය නම් ලෝකයේ සුන්දරතම හැඟිම වෙනුවෙන් රජකම අතහැරි කුමාරවරු, යස ඉසුරු හැර ගිය සිටුවරු මෙන්ම තම ආදරය වෙනුවෙන් දිවි පිදූ ප්‍රේමවන්තයින් ගැන ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් සාක්ෂිවලින් පිරි තිබේ.

පෙබරවාරි 14 වැනිදාට යෙදුන ආදරවන්තයින්ගේ දිනය ගැන කතා බහට එක්වු ශෂිනි, බීබීසී සිංහල සේවයට කියා සිටියේ තම සහකාරිය සමග නිදහසේ ආදරය කිරීමට ලාංකීය සමාජයෙන් ඔවුන්ට තහංචි පැනවී ඇති බවයි.

ශෂිනි සහ ඇයගේ සහකාරියගේ ආදර කතාව ආරම්භ වී ඇත්තේ මීට වසර 4කට පමණ පෙර ය. එහෙත් ඔවුන්ට නිදහසේ ආදරෙන් සමාජය තුළ ගැවසීමට ඉඩ ඇහිරි තිබීම ගැන ඇය මුහුණ දුන් අත්දැකිමක් බීබීසී සිංහල වෙත කියා සිටියාය.

“මමයි මගේ පාර්ට්නයි දවසක් රෙස්ටුරන්ට් එකකට ගියා කෑම ගන්න.එතන හිටියා ස්ට්‍රේට් කපල් (straight couple) එකක්, ඒ දෙන්නා කෑම කන එක නවත්වලා අපි දෙන්නා දිහා බලාගෙන එක එක දේවල් කතා කරනවා අපි දැක්කා. මට නම් ඒක කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒත් ටික වෙලාවක් යද්දි මට හිතුනා මේක ඒ මිනිස්සුන්ටත් වදයක්, අපිටත් වදයක් කියලා. ඉතින් අපි ඉක්මනට කාපු නැති කෑම ටික පැක් කරගෙන බිල ගෙවලා ගෙදර ආවා.”

ඇයගේ ආදරය මෙන්ම සමරිසි යුවළකගේ ආදර සම්බන්ධය ලිංගිකත්වයට එහා ගියා මානුෂිය බැඳිමක් බව ඇය විස්තර සහිතව කියා සිටියාය.

“ලිංගිකත්වයට වැඩිය දෙයක් එතන තියෙනවා. එතන මාර ආදරයක් තියෙනවා. අනිත් කෙනාව තේරුම් ගැනීම, එක එක්කෙනාගේ අවශ්‍යතාවන්, එක එක්කෙනාගේ ආරක්ෂාව, මගේ පාර්ට්නර්ගෙනුත් ඒක මට ලැබෙනවා. මමත් එයාව හැම තිස්සේම සතුටින් තියන්න උත්සාහ කරනවා, හිත රිද්දන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා. ඒකේ උපරිමත්වයේ දි තමයි ලිංගිකත්වය කියන තැනට යන්නේ.” යැයි ආදරය, ලිංගික නැමියාව මත වෙනස් නොවන බව ශෂිනි විස්තර කළේ එලෙස ය.

මේ වන විට අගනගරයේ දිවි ගෙවන ශෂිනිගේ ලිංගික නැමියාව මව්පියන් දැනගත් දා පටන් ඇයට ඔවුන්ගෙන් වෙන්ව ජීවත් වීමට සිදුවීම තුළ ඇයට ගෙදර උදවියගේ ආදරයෙන් ද දුරස් වන්නට සිදුවී තිබේ.

තම හැඟීම් වෙනස් කර ගන්නට නොහැකි බව වයස අවුරුදු 17 දී තේරුම් ගත් ශෂිනි ඉන් පසුව තමන්ට ලැබුණු ජීවිතය සතුටින් ගත කරන්නේ තම නිවැසියන්ගේ, නෑදෑයන්ගෙන් ලද ආදරය අහිමිවීම මෙන්ම තම ආදරවන්තිය සමග නිදහසේ ආදරය කිරිමට සමාජය ඉඩ නොදීමේ පීඩාව හිතේ දරාගෙන ය.

“අපිත් මනුස්සයෝ නේ, අපිටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. අපිටත් හැඟිම් දැනීම් දැනෙනවා අනිත් අයට වගේ. අපිටත් බඩගිනි වෙනවා. අපිටත් මේ ලංකාවේ සියලු පොදු දේවල් භුක්ති විඳින්න අයිතිවාසිකමක් තියෙනවා. ඒත් මිනිස්සු විසින්ම අපිව ඒ තැන්වලින් හිර කරලා තියෙනවා. ඒ අයිතිවාසිකම්වත්, නිදහසවත් ලබා ගන්න බැරි තැනකට ඒගොල්ලෝ අපිව පත් කරන්න උත්සාහ කරනවා.”

“කතාවට කියනවා සිරකරුවෝ ද මනුෂ්‍යයෝ කියලා. හිරකාරයෝ ඉන්නවා ස්ත්‍රී දුෂණය කරපු අය, මිනීමරපු අය ඒ අයටත් මනුස්සයින්ට වගේ සලකන්න පුලුවන් නම් LGBTQ ප්‍රජාවට ඇයි මනුස්සයින් විදියට සලකන්න බැරි.” යනුවෙන් ශෂිනි ප්‍රශ්න කරයි.

Source: https://www.bbc.com/sinhala/articles/czd7vjv7gwyo