පවුලේ උදවියට සැඟවු වසර 6ක ආදර කතාව

February 22, 2024 Bridge Team


ජාති, ආගම් බේදයට යට නොවුන සෙයිඩ් සහ සඳුන්ගේ ආදර අන්දරය වසර 6කට වැඩි අතීතයකට දිව යයි. සෙයිඩ් ගේ නිවැසියන්ගේ අශිවර්වාදය මැද දිවෙන මේ ආදර කතාව සඳුන් ගේ පවුලේ උදවියට තවමත් සඟවන්නට සිදුව තිබේ.

“මම බෞද්ධ, මෙයා මුස්ලිම් අපේ ගෙදරට කවදාවත් මගේ මුස්ලිම් යාලුවෙක් ඇවිල්ලා තිබුනේ නැහැ. ඒ කට්ටිය බලනවා මෙතන මොකක්ද තියෙන්නේ ඇයි මම නිතරම ‍මේගොල්ලන්ගේ ගෙදර එන්නේ. ඒගොල්ලන්ට තේරෙනවා ඇති අනිවාර්යෙන්ම මොකද දැන් අවුරුදු 6කට වැඩි කාලයක් එයා අපේ ගෙදර එනවා මම එයාලගේ ගෙදර යනවා.” යැයි සිය ආදර කතාව කීම ආරම්භ කරමින් සඳුන් බීබීසී සිංහල වෙත කියා සිටියේය.

“අපේ පවුලෙන් මෙයාට තියෙන පිළිගැනීම තව පුතෙක්ට වගේ තමයි ඒකේ වෙනස් නැහැ.” යි සෙයිඩ් ද කතා බහට එක්වෙමින් සඳහන් කළේය.

සඳුන්ගේ ලිංගික නැමියාව පිළිබඳව ඔහුගේ මව්පියන් හෝ නෑදෑ හිතවතුන් නොදැන සිටිම මත ඔහුට එන විවාහ යෝජනාවල ද අඩුවක් නැත. තමන්ට තරුණියක් සමගම විවාහ වීමට නොහැකි බව ගෙදර උදවියට මෙන්ම නෑදෑයින්ට කීමට නොහැකි වීම සහ එය ඔවුන් කෙසේ භාර ගනීවිදැයි තැවෙන සඳුන් ඔහුට මුහුණ දීමට සිදුව ඇති අපහසුතාවය මත මානසික පිඩා විඳිමින් සිටින බව පැවසීය.

“වෙඩින් එකකට වගේ ගියාම නෑදෑයෝ අහන දෙයක් තමයි දැන් කාලේ හරි අපිට ඊළඟට ඔයාගේ වෙඩින් එකට එන්න පුලුවන් ද, වගේ දේවල් කියනවා. ඉතින් එහෙම වෙනකොට මම හරිම අපහසුතාවයකට පත් වෙනවා ඒක මට ඒගොල්ලන්ට විස්තර කරන්නත් බැහැ. ඒකට සමාජයේ කිසිම පිළිගැනීමකුත් නැහැ. ඉතින් එක පැත්තකින් ඒක හරිම මානසික පීඩනයක් තියෙනවා කිව්වොත් හරි.”

තම ලිංගික නැමියාවට පවුලේ උදවියගෙන් මෙන්ම නෑදෑ හිතවතුන්ගෙන් පිළිගැනිමක් නොලැබෙන බවට විශ්වාස කරන සඳුන් එයට ලැබෙන ප්‍රතිචාරය කුමක්දැයි යන්න ප්‍රශ්නාර්ථයක් බව සඳහන් කළේය.

සෙයිඩ් සහ සඳුන්ගේ ආදර කතාව තුළ පවුලෙන් මෙන්ම රැකියා ස්ථානයෙන් වැඩි වශයෙන් පීඩාවට පත් වීමට සිදුව ඇත්තේ සඳුන්ට ය.

අගනුවර ප්‍රධාන පෙළේ පුද්ගලික සමාගමක දියුණු හා නූතන පරපුර යැයි කියනු ලබන තරුණ පිරිසක ගෙන් වුවද සමරිසි ප්‍රජාවට කිසිඳු පිළිගැනිමක් නැතැයි, ඔහු කියා සිටියේ රැකියා ස්ථානයේ සිදුවු එක් සිද්ධියක් විස්තර කරමින්ය.

“අපේ ඔෆිස් එකේ තිබුනා එක පාර්ටියක්. ඒ පාර්ටි එකට කපල් විදියට තමයි යන්න පුලුවන්කම තිබුනේ. අපේ ඔෆිස් එකේ ඉන්නා සමරිසි නැති සින්ගල් පිරිමි අය. ඉතින් අපි කතා වුණා. සින්ගල් අය පිරිමි ළමයි දෙන්නෙක් විදියට කපල් වෙලා යන්න. හැබැයි ඒගොල්ලෝ කිව්වේ මොකක්ද, පිරිමි ළමයි දෙන්නෙක්ට කපල් එකක් විදියට එන්න බැහැ, ගෑණු ළමයි දෙන්නෙක්ට කපල් එකක් විදියට එන්න බැහැ කියන එක. ඒ කතාව කොච්චර දුරට ගියා ද කියනවා නම් අන්තිමට ඒ අය පෝස්ටර් එකේ මේල්, ෆිමේල් අයිකන් එක දැම්මා ඊට පස්සේ එදා මට ගොඩක් හිත රිදුනා.” යි සඳුන් පැවසීය.

සමාජයට හෝ පවුලේ උදවියට තම ලිංගික අනන්‍යතාවය කියා ගත නොහැකිව බොහෝ සමරිසි පුද්ගලයින් සිටින බව ඔවුන් දෙදෙනා පැවසීය. එසේ සිටන ඇතැම් පිරිමි පුද්ගලයන් අකමැත්තෙන් වුවද සමාජ අවලාදයෙන් බේරිමට කාන්තාවන් විවාහ කරගන්නා බවත් එය එම කාන්තාවන්ට කරන බරපතල අසාධාරණයක් බවත් ඔවුහූ පවසති.

“මගේ හොඳම යාළුවෙක්ට ගෙදර කීම නිසා ගෑණු ළමයෙක් බඳින්න සිද්ධ වුණා. එයා ඉස්සර මට පැය ගණන් කතා කරලා කියනවා මම බැන්ඳා ගෙදරින් කිව්වට, එත් මට හරි අමාරුයි මෙහෙම ජීවත් වෙන්න කියලා. ඒක අපිට සහ ඒ බඳින කොනාට කරන ලොකු වැරැද්දක්. මොකද අපිට සහෝදරියෝ ඉන්නවා අපි කැමති වෙයිද ඒ අයට එහෙම දෙයක් වෙනවාට.”

“අපි සොබාව දහමෙන්ම හැදිලා තියෙන්නේ පිරිමියෙක් ගැහැණියෙක්ට ආදරය කරන විදියට නෙමෙයි. පිරිමියෙක් තව පිරිමියෙක්ට ආදරය කරන විදියට. ඉතින් ඒ නිසා අපි දෙන්නාගෙන් කාටවත් ගෑණු ළමයෙක් ගැන ආදරයක් පහළවෙන්නේ නැහැ. පහළවෙලත් නැහැ.” යි තම ආදරවන්තයා කී දෙය සෙයිඩ් තහවුරු කළේය.

ලංකාවේ සමරිසි ප්‍රජාවට තම ආදරය වෙනුවෙන් බොහෝ දේ අත්හරින්නට මෙරට සමාජයෙන් බල කෙරී තිබේ.

ඇතැම් විට තම දෙමාව්පියන්, සහෝදර සහෝදරියන් පමණක් නොව නෑ හිතවතුන් ද අතහැර තමන් සිය ආදරය ශක්තිමත්ව රැකගනිමින් දිවි ගෙවන බව එම ප්‍රජාවේ පිරිස් පවසති.

Source: https://www.bbc.com/sinhala/articles/czd7vjv7gwyo



Related posts