සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ආරක්ෂා කිරීම: චක්‍රලේඛයක පාලනයෙන් ද ඔබ්බට

October 13, 2023 Bridge Team


නීතිවිශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසමේ (International Commission of Jurists) ශ්‍රී ලංකා ජාතික නීති උපදේශිකා මතුරි තමිල්මරන්ගේ අදහස් ඉදිරිපත් කිරීමකි.

ශ්‍රී ලංකාවේ ජීවත්වන සමරිසි කාන්තාවන්, සමරිසි පිරිමින්, ද්වීරිසි පුද්ගලයන්, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සහ අන්තර්ලිංගික පුද්ගලයන් (LGBTI) පමණටත් වඩා වෙනස්කොට සැලකීම්, අපයෝජනය, ප්‍රචණ්ඩත්වය සහ කෙණහිලිකම්වලට ලක්වන අතර එමඟින් ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වේ. ඉකුත් වසර ගණනාවක් පුරාවට, LGBTI පුද්ගලයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම්වලට ප්‍රධාන වගඋත්තරකාර පාර්ශවය වන්නේ ශ්‍රී ලංකා පොලීසිය බවට පර්යේෂණ වාර්තා මඟින් දිගින් දිගටම හඳුනාගෙන තිබේ. ගත වූ මාස කිහිපය තුළ ලැබූ ප්‍රගතිය පිළිබඳ සලකා බැලීමේ දී, ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පවා මෙම සාධකය පිළිගෙන තිබෙන අතර, ඊට පිළියම් යෙදීමට පියවර ගෙන ඇති බවක් නිරීක්ෂණය කළ හැකි වේ.

2023 මාර්තු 15 වන දින, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් සඳහා වන මාර්ගෝපදේශය ජාතික භාෂා ත්‍රිත්වයෙන් එළිදක්වන ලදී. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වෙබ් අඩවිය විසින් පෙන්වා දෙන අන්දමට, මෙම මාර්ගෝපදේශයන් නිකුත් කර තිබෙන්නේ LGBTI පුද්ගලයන් හා නෙතගැටෙන විට ඔවුන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට පොලීසිය විසින් කටයුතු කිරීම තහවුරු කිරීමේ අරමුණ ඇතිව ය. මාර්ගෝපදේශ 12 කින් සමන්විත එම ලේඛණය, ලිංගික දිශානතිය (sexual orientation) සහ සමාජභාවී අනන්‍යතාවය (gender identity) වෙත ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය වලංගුවන අයුරු දැක්වෙන මූලධර්මයන් ලැයිස්තුවකින් සමන්විත වන යෝගියකාර්ටා මූලධර්ම (Yogyakarta Principles) (2007) මත පදනම්ව සම්පාදනය කර ඇති බව නිරීක්ෂණය කළ හැකි වේ. ශ්‍රී ලංකාවේ ජාතික ආයතනයක් විසින් යෝගියකාර්ටා මූලධර්ම වෙත යොමුවූ පළමු අවස්ථාව මෙය විය හැකි යැයි නිසැකවම පැවසිය හැකිය.

පොලීසිය, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් හා නෙතගැටෙන විට කටයුතු කළ යුත්තේ කුමන අන්දමකින් ද යන්න ඉතා කෙටියෙන් මෙම මාර්ගෝපදේශයන්වල දැක්වෙන අතර, එවන් අවස්ථාවලදී පහත දැක්වෙන අන්දමින් ඔවුන්ගේ හිමිකම් ආරක්ෂාකළ යුතු බවට එහි සඳහන් වේ:

  • නීතිය ඉදිරියේ පිළිගැනීම (මාර්ගෝපදේශය 01: නීතිය ඉදිරියේ පිළිගැනීමට ඇති අයිතිය);
  • සමානාත්මතාවය සහ වෙනස්කොට සැලකීම්වලට ලක් නොවී සිටීම (මාර්ගෝපදේශය 02: සමානාත්මතාවයට සහ වෙනස්කොට නොසැලකීමට ඇති අයිතිය);
  • වධහිංසා සහ කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම්වලින් නිදහස්ව සිටීම (මාර්ගෝපදේශය 03: වධහිංසා සහ කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම්වලින් නිදහස් වීමේ අයිතිය);
  • පෞද්ගලික ආරක්ෂාව ලැබීම (මාර්ගෝපදේශය 04: පෞද්ගලික ආරක්ෂාවට ඇති අයිතිය);
  • අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම්වලින් නිදහස්ව සිටීම (මාර්ගෝපදේශය 05: අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම්වලින් නිදහස් වීමේ අයිතිය);
  • පෞද්ගලිකත්වය (මාර්ගෝපදේශය 06: පෞද්ගලිකත්වයට ඇති අයිතිය);
  • රැඳවුම් භාරයේ සිටිය දී මනුෂ්‍යත්වයෙන් සැලකීමට ලක්වීම (මාර්ගෝපදේශය 07: රැඳවුම් භාරයේ සිටිය දී මනුෂ්‍යත්වයෙන් සැලකීමට ඇති අයිතිය);
  • පවුල් ජීවිතය භුක්ති විඳීම (මාර්ගෝපදේශය 08: පවුල් ජීවිතය භුක්ති විඳීමට ඇති අයිතිය);
  • සංක්‍රාන්ති සමාජභාවී දරුවකුගේ උපරිම යහපත (මාර්ගෝපදේශය 09: සංක්‍රාන්ති සමාජභාවීය දරුවකුගේ උපරිම යහපත සහතික කිරීම);
  • නීතිය බලාත්මක කිරීමේ අධිකාරීන් වෙත ප්‍රවේශය (මාර්ගෝපදේශය 10: නීතිය බලාත්මක කිරීමේ අධිකාරීන් වෙත ප්‍රවේශ වීමේ අයිතිය);
  • අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සමාගම්ගත වීම සහ සාමකාමීව රැස්වීම (මාර්ගෝපදේශය 11: අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සමාගමේ අයිතිය සහ සාමකාමී ව රැස්වීම සඳහා ඇති අයිතිය); සහ
  • LGBTI අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම (මාර්ගෝපදේශය 12: LGBTI අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමේ අයිතිය).

පොලිස් ස්ථානවලදී පොලිස් නිලධාරීන් අතින් LGBTI පුද්ගලයන් කෙණහිලිකම්වලට ලක්වීම සම්බන්ධයෙන් ඉකුත් 2022 දෙසැම්බර් මස පොලිස්පතිවරයා විසින් පොලීසිය වෙනුවෙන් සමාව අයැද සිටීම මෑතකාලීනව ලැබූ තවත් ප්‍රගතියක් ලෙස දැක්විය හැකි ය. එසේ සමාව අයැදීමෙන් අනතුරුව, ඔහු විසින් “සංක්‍රාන්ති ලිංගිකයන් සහ ලිංගික විපර්යාසයන්ට ලක් වූ තැනැත්තන් සම්බන්ධව කටයුතු කිරීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු” මැයෙන් 2022 දෙසැම්බර් 27 දිනැති චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙම චක්‍රලේඛය, LGBTI පුද්ගලයන් සම්බන්ධයෙන් අවමන් සහගත ප්‍රකාශයන් සිදුකළ පුහුණු උපදේශිකාවක විසින් පොලිස් නිලධාරීන් සඳහා පැවැත්වූ පුහුණු වැඩමුළුවකට අදාළව අභියාචනාධිකරණයේ ගොනුකළ නඩුවකට දැක්වූ සෘජු ප්‍රතිචාරයක් බවට හඳුනා ගත හැකිය. එකී නඩුවේ දී, LGBTI පුද්ගලයන් ආන්තීකරණයට ලක්කරන සහ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන පුහුණු වැඩමුළු හෝ සම්මන්ත්‍රණ පැවැත්වීම පොලීසියට තහනම් කරමින් රිට් ආඥාවක් නිකුත් කරන මෙන් පෙත්සම්කරුවන් විසින් ඉල්ලා තිබිණි. මෙම නඩුව අධිකරණය හමුවේ විභාගයට ගැනුනු මොහොතේ, LGBTI පුද්ගලයන් සමඟ කටයුතු කරන විට පොලීසිය කටයුතු කළ අන්දම පිළිබඳව උපදෙස් අඩංගු චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා පැවසීය. 2023 ජනවාරි මස මෙම නඩුව විභාගයට ලක් කිරීම අවසන්කළ අතර, ඒ සමඟ 2022 දෙසැම්බර්වල නිකුත්කළ චක්‍රලේඛය ලේඛණගත වීම සිදුවිය.

සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් විසින් පොලීසිය හමුවේ ගොනුකළ පැමිණිලි ‘ළමුන් හා කාන්තාවන්ට එරෙහිව සිදුවන අපයෝජනයන් වැළැක්වීම’ සඳහා පිහිටුවා ඇති ඒකකය විසින් විමර්ශනය කළ යුතු අතර, එම ඒකකය භාරව සිටින පොලිස් පරීක්ෂකවරයා විසින් ඊට අදාළව එම ඒකකයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා / අධ්‍යක්ෂකවරයා ගේ උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත්, විමර්ශනය අවසාන කොට ඊට අදාළ අවසාන වාර්තාව නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා වෙත භාරදිය යුතු බවත් 2022 දෙසැම්බර් මස නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වේ. එමෙන්ම, සමාජභාවය-තහවුරු කිරීමේ ක්‍රියාදාමය (gender-affirming care) තුළ ගමන්කළ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකු සෝදිසි කිරීමේ දී විනීතභාවය මත පිහිටා ඔවුන් සෝදිසි කිරීමට ලක්කළ යුතු අතර, යම් හෙයකින් එවන් පුද්ගලයකු රැඳවුම් භාරයට ගන්නේ නම්, අවස්ථාවෝචිතව එම පුද්ගලයා ආරක්ෂක මාතාවකගේ හෝ කාන්තා නිලධාරියක භාරයේ තබා ගත යුතු බවට එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ. තව ද, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට වෙනස්කොට සැලකීම් සිදුකරන, හෝ ඔවුන් ආන්තීකරණයට ලක්කරනු ලබන කිසිඳු කථාවක් හෝ ප්‍රකාශයක් පොලිස් පුහුණු වැඩමුළුවලදී සිදුකිරීමට අවසර නොමැති අතර, “විධිමත් පැමිණිල්ලකින් තොරව” හෝ “සාධාරණ හේතු” නොමැතිව “ගුද / යෝනිමාර්ග පරීක්ෂාවන්” සිදු නොකළ යුතු බව එහි දැක්වේ. එමෙන්ම, තම සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවය හෙළිදරව් නොකර සිටීම මඟින් ඔවුන් සතු අපරාධ චේතනාවක් අනාවරණයවන අවස්ථාවක දී හැරුණු විට, තම සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවය පොලීසිය හමුවේ හෙළිදරව් නොකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බව ද එම චක්‍රලේඛයේ දැක්වේ. තව ද, කොන්ඩම ඇතුළු උපත් පාලන ඖෂධ ළඟ තබා ගැනීම වරදක් නොවන අතර, එවන් අවස්ථාවක පාදඩ ආඥා පනත (Vagrants Ordinance) (LGBTI පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට / රඳවා තබා ගැනීමට ඉතිහාසයේ පටන් භාවිතා කළ නීතියකි) හෝ වෙනත් කුමන හෝ නීතියක් ක්‍රියාත්මකකළ නොහැකි බව ද එම චක්‍රලේඛයේ පැහැදිලිව ම සඳහන් වේ.

ඉහත කරුණු සැලකිල්ලට ගැනීමේදී, චෝදනාවකට වරදකරු වූවහොත් වසර තුනක් දක්වා සිරදඬුවම් නියමකළ හැකි මෙන්ම දඩයකට පවා යටත්කළ හැකි වරදක් සේ සැලකෙන, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ “වෙස්වලා ගැනීමේ වරද” (cheating by personation) නමින් දැක්වෙන 399 වන වගන්තියේ යම් අර්තනිරූපණයන් කෙරේ ද අවධානය යොමුකර ඇති බවක් දක්නට ලැබේ. “යමෙකු වෙනත් තැනැත්තෙකු ලෙස බොරුවට හඟවමින් හෝ වෙනත් තැනැත්තෙකු වෙනුවට තවත් තැනැත්තෙකු දැනුවත්ව පෙනී සිටිමින්හෝ එකී තැනැත්තා හෝ වෙනත් තැනැත්තෙකු නියම වශයෙන්ම එකී තැනැත්තා හෝ වෙනත් තැනැත්තෙකු නොවඅන් තැනැත්තෙක් යැයි නිරූපණය කරමින් රවටතොත්ඔහු අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කළ ලෙස සලකනු ලැබේ” යනුවෙන් “වෙස්වලා ගැනීමේ වරද” එකී වගන්තියේ අර්ථ දක්වා තිබේ. 399 වගන්තියේ කරුණු පෙළගස්වා ඇති පරිදි, “වෙස්වලා ගැනීමේ වරද” යමෙකු වංචනික අරමුණු තකා වෙනත් පුද්ගලයකු ලෙස පෙනී සිටින අවස්ථාවක දී වලංගු වනවා මිසක, එය සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකුට සහ ඔවුන්ගේ සමාජභාවී අනන්‍යතාවය (gender identity) සහ සමාජභාවී ප්‍රකාශනයට (gender expression) අදාළ නොවන බව පැහැදිලි ය. කෙසේවෙතත්, කණගාටුවට කරුණ වන්නේ දණ්ඩ නීති සංග්‍රහය තුළ මෙවන් ප්‍රතිපාදනයක් පැවතීම මත සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් අපරාධ සිදු කිරීමේ අරමුණින් යුතුව සිය සමාජභාවී අනන්‍යතාවය “වෙනස්කර ගනු ලබන” බවට වූ විශ්වාසයක් අනාදිමත් කලක පටන් පොලිස් නිලධාරීන් අතර පැවතීමත්, මේ මත “මහජනතාව මුලා කිරීමට” එරෙහිව ඔවුනට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කිරීමත් ය. තව ද, සමාජභාවී සම්මතයන් (gender norms) හා නොගැළපෙන පෙනුමැති පුද්ගලයන් බිය වැද්දීමට, ඔවුන්ගෙන් කප්පම් ගැනීමට, රඳවා තබා ගැනීමට සහ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පාදඩ ආඥා පනතේ (1841) “ඉබාගාතේ යෑමේ ප්‍රතිපාදන” (loitering provisions) පොලීසිය විසින් යොදාගෙන තිබේ. මෙම ආඥා පනත, ‘කලහකාරී ලෙස හෝ අනිසි ලෙස හැසිරීම’ (riotous and disorderly manner), ‘ඉබාගාතේ යාම’ (wandering), ‘කම්මැලි ලෙස හැසිරීම’ (idling), ‘වංචනික හෝ ප්‍රයෝගකාරී ලෙස පුණ්‍යාධාර එකතු කිරීම’ (gather or collector of arms under false pretense), ‘තුවාල, ලාදුරු, අංගවිකල හෝ වෙනත් රෝගයක් පෙන්වමින් සිඟමන් යදින්නන්’ (endeavoring by the exposure of wounds, deformities, leprosy or loathsome disease), හා ‘අවකල් ක්‍රියාවන්හි යෙදීම හෝ ඊට පෙළඹවීම’ (soliciting, or acts of indecency) වැනි සමාජ චර්යාවන් වලට දඬුවම් පමුණවමින් “ශිෂ්ටභාවය” (decency) නියාමනය කිරීම සඳහා නීතියක් ලෙස යොදාගැනෙයි. මෙවන් ක්‍රියාවන් හි නියැලුන පුද්ගලයන් ‘තක්කඩියන්’ (rogues), ‘ඉබාගාතේ යන්නන්’ (vagabonds) හෝ ‘හික්මවිය නොහැකි තක්කඩියන්’ (incorrigible rogues) ලෙස නම්කෙරේ. ‘හික්මවිය නොහැකි තක්කඩියන්’ ඔවුන් කළේ යැයි කියන ‘අපරාධය’ සඳහා වරදකරුවන් වනවා පමණක් නොව, සිය අනාගත යහපත් කල්ක්‍රියාව සහතික කිරීම සඳහා නිදහස ලැබීමෙන් වසරක කාලයකට යටත්ව මූල්‍යමය ආරක්ෂාවක් ද ප්‍රදර්ශනය කළ යුතු ය. අවාසනාවකට මෙන්, LGBTI පුද්ගලයන්ට එරෙහිව මෙකී විධිවිධාන පොලීසිය විසින් වෙනස්කොට සැලකීම සඳහා භාවිතා කරන ආකාරය පිළිබඳව එම චක්‍රලේඛය අවබෝධ කර නොගන්නා අතර, මෙම ප්‍රවණතාවය ආමන්ත්‍රණය කිරීම සඳහා විසඳුම් සපයන්නේ ද නැත.  

ශ්‍රී ලංකාව යනු සියලු ප්‍රධාන ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම්වල පාර්ශවකරුවෙකි. සිවිල් හා දේශපලාන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ (ICCPR) 26 වන වගන්තිය විසින් වෙනස්කොට සැලකීම තහනම් කරන අතර, සියලු පුද්ගලයන්ට නීතිය ඉදිරියේ සමාන ආරක්ෂාව සහතික කර තිබේ; ජී වී. ඕස්ට්‍රේලියා (G v. Australia) (2017) නඩුව හමුවේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව (ICCPR ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කරන විශේෂඥ මඬුල්ල) විසින් එම ප්‍රඥප්තියේ වගන්ති අර්තනිරූපණය කරමින් “ස්ත්‍රී-පුරුෂභාවය” (sex) යන කාණ්ඩයට සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ. පුද්ගලයකුගේ සැබෑ හෝ අනුමාන කරන ලද ලිංගික දිශානතිය, සමාජභාවී අනන්‍යතාවය ආදිය කුමක් වූව ද, LGBTI පුද්ලයන් ද ඇතුළුව, “සෑමදෙනෙකුටම” නිදහස සඳහා අයිතියක් ඇති බවට ICCPR ප්‍රඥප්තියේ 09 වන වගන්තියෙන් සහතික කර තිබෙන අතර, මෙය සිය අංක 35 දරණ පොදු විවරණ (පුද්ගල නිදහස සහ ආරක්ෂාව, 2014) (General Comment No. 35; Liberty and security of person, 2014) යටතේ මානව හිමිකම් කමිටුව විසින් තහවුරු කර තිබේ. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් වෙනත් පුද්ගලයන්ට සාපේක්ෂව වැඩි වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය වීම්වලට ලක්වීමේ අවදානමක් තිබෙන පසුබිමක් තුළ ඔවුනට ධනාත්මක රාජ්‍ය ආරක්ෂාවන් සැපයීම අවශ්‍යතාවයක් සේ සලකා, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ සෞඛ්‍යය සඳහා ඇති අයිතිය, සෞඛ්‍යය සඳහා ඇති අයිතිය සහතික කරන ආර්ථික, සමාජීය සහ සංස්කෘතික හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥපත්තියේ (ICESCR) 12 වන වගන්තිය යටතේ හඳුනාගත හැකි බවට, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික හිමිකම් පිළිබඳ කමිටුව විසින් සිය අංක 22 දරණ පොදු විවරණ (ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යයට ඇති අයිතිය, 2016) (General Comment No. 22; Right to Sexual and Reproductive Health, 2016) යටතේ අර්තනිරූපණය කර තිබේ. මීට සමානව, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් වධහිංසාවලින් ආරක්ෂා කිරීම, සහ වධහිංසාවල වින්දිතයන් බවට පත් වූ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් වෙනුවෙන් ඵලදායී සහන යාන්ත්‍රණ සහතික කිරීම සඳහා, වධහිංසා සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම්වලට එරෙහි සම්මුතිය (UNCAT) යටතේ විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට රාජ්‍යයන් විසින් කටයුතු කළ යුතුව ඇති බවට, එකී සම්මුතිය යටතේ ස්ථාපිත කළ කමිටුව විසින් සිය අංක 02 දරණ පොදු විවරණ (02 වන වගන්තිය රාජ්‍ය පාර්ශවයන් විසින් ක්‍රියාවට නැංවීම, 2008) (General Comment No.2; Implementation of article 2 by State Parties, 2008) යටතේ පෙන්වා දී තිබේ.

2010 වර්ෂයේ පටන්, කාන්තාවන්ට එරෙහි වෙනස්කොට සැලකීම මුලිනුපුටා දැමීමේ කමිටුව (CEDAW) විසින් ද තම පොදු නිර්දේශවල ලිංගික දිශානතිය සහ සමාජභාවී අනන්‍යතාවයට අදාළ කරුණු දක්වා තිබේ. සමරිසි කාන්තාවන්, ද්වීරිසි කාන්තාවන්, සහ සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික කාන්තාවන්ට (LBTI) එරෙහිව සිදුවන සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (gender-based violence) සහ වෙනස්කොට සැලකීමට එරෙහි ඵලදායී ආරක්ෂාවක් සැපයීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු අතර, මේ අනුව පරිපූර්ණ නීති සම්පාදනය, ඵලදායී සිවිල් සහ අපරාධ පිළියම් සඳහා ප්‍රවේශය සැපයීම සහ සෞඛ්‍ය සහ මූල්‍ය සහාය ලබා දීම හඳුන්වා දීමට කටයුතු කළ යුතු බව, ඉකුත් වර්ෂයේ ඊක්වල් ග්‍රවුන්ඩ් (EQUAL GROUND) සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා රොසෑනා ෆ්ලේමර්-කල්දේරා මහත්මිය විසින් ගොනුකළ නඩුවට අදාළව තමා විසින් ඉදිරිපත් කළ සොයාගැනීම් සහ නිර්දේශයන් හරහා CEDAW කමිටුව පෙන්වා දුන්නේය. වඩා වැදගත්වන කරුණ වන්නේ, LBTI පුද්ගලයන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව සක්‍රිය රාජ්‍ය මැදිහත් වීමක් ලබා ගනු වස්, LBTI පුද්ගලයන්ට එරෙහිව සිදුවන වෛරී අපරාධ (hate crimes) සහ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳ දත්ත ඒකරාශී කරන මෙන්, කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ සම්මුතිය, එහි විකල්ප පෙරාතුකොළය (Optional Protocol) සහ එහි කමිටුවේ පොදු නිර්දේශ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පුහුණු වැඩමුළු පවත්වන මෙන්, සහ LBTI කාන්තාවන්ගේ මානව හිමිකම් පිළිබඳ දැනුවත් කිරීම් සිදුකරන මෙන් එකී කමිටුව විසින් රාජ්‍යයෙන් ඉල්ලා සිටීමයි.

LGBTI පුද්ගලයන්ට “නීතියේ සමාන ආරක්ෂාව” ලබා දීම සඳහා නීති ආයතන සකස් කිරීම කෙරේ රාජ්‍යයන්ට පැවරී ඇති වගකීම යෝගියකාර්ටා මූලධර්ම විසින් අවධාරණය කර තිබෙන අතර, මීට සිවිල් සහ අපරාධ පිළියම් සඳහා ප්‍රවේශය සැපයීම ද ඇතුළත් වේ. ලිංගික දිශානතිය සහ සමාජභාවී අනන්‍යතාවය මත පදනම් වූ ප්‍රචණ්ඩ ක්‍රියා දැඩිව විමර්ශනය කොට, අගතිගාමී බවකින් තොරව ඊට අදාළ චූදිතයන්ට එරෙහිව නඩු පවරා දඬුවම් පමුණුවන අතරවාරයේ එකී ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන්ට යෝග්‍ය පිළියම් ලබා දීමට රාජ්‍යයන් මැදිහත් විය යුතු බවට යෝගියකාර්ටා මූලධර්ම නිර්දේශ කරයි. ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්, සහ ලිංගික දිශානතිය සහ සමාජභාවී අනන්‍යතාවයට අදාළ කරුණු ද ඇතුළත් සමානාත්මතාවයේ සහ වෙනස්කොට සැලකීම් සිදු නොකිරීමේ මූලධර්ම පිළිබඳ විනිසුරුවරුන්, අධිකරණ නිලධාරීන්, අභිචෝදකයන්, නීතීඥවරුන් සහ අනෙකුත් වෘත්තිකයන් සඳහා පුහුණු වැඩමුළු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සඳහා රාජ්‍යයන් උනන්දු කරවීමට ද එම මූලධර්ම කටයුතු කරයි.

ජාතික මානව හිමිකම් ආයතන (ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැනි) විසින් දියත් කරනු ලබන වැඩසටහන් සහ ක්‍රියාකාරකම්වල, ලිංගික දිශානතිය, සමාජභාවී අනන්‍යතාවය, සමාජභාවී ප්‍රකාශනය සහ ලිංගික ලක්ෂණ (SOGIESC) ආදියට අදාළ මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම, පැමිණිලි හැසිරවීම සහ මානව හිමිකම් අධ්‍යාපනය ලබා දීම ආදී ඔවුන්ගේ සියලු කෘත්‍යයන්වල එකී ගැටළු ප්‍රධාන ධාරාවට යොමු කිරීම, සහ ඔවුන්ගේ නායකත්වය සහ කාර්යමණ්ඩලයට විවිධ ලිංගික දිශානතීන්, සමාජභාවී අනන්‍යතාවයන්, සමාජභාවී ප්‍රකාශනයන් සහ ලිංගික ලක්ෂණ තිබෙන පුද්ගලයන් ඇතුළත් කර ගැනීමට උනන්දු කරවීම තහවුරු කිරීමට එකී ආයතන කටයුතු කළ යුතු බව, 2017 යෝගියකාර්ටා මූලධර්ම+10 (YP+ 10) විසින් රාජ්‍යය වෙත පවරන අතිරේක වගකීම්වලින් නිර්දේශ කර සිටියි. 

ඉහත සඳහන්කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කළ මාර්ගෝපදේශ වැනි මෑතකාලීන පියවරයන් දිරිගන්වන සුළු වූව ද, ඒවා තත්කාලීන ලෙස ක්‍රියාවට නංවා ඇති බවක් තවමත් නිරීක්ෂණය කළ නොහැක. අද වන තුරුත්, මෙකී ප්‍රගතීන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීම, හෝ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය, අදාළ මාර්ගෝපදේශ / චක්‍රලේඛය මඟින් ස්ථාපිත කර තිබෙන ප්‍රමිතීන්ට වඩා පහළ මට්ටමක පවතින අවස්ථාවල යොමුවිය හැකි කුමන හෝ පිළියමක් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හෝ පොලීසිය විසින් කිසිඳු ව්‍යාපාරයක් දියත් කර නොමැත. ප්‍රායෝගිකව ගත්කළ, කෙණහිලිකම්, අපයෝජනය සහ ප්‍රචණ්ඩත්වය තවමත් සම්මතය බවට පත්වෙමින් මෙම පොලිස් චක්‍රලේඛය දිගින් දිගටම උල්ලංඝනය වනු දැකගත හැකි බවට ක්‍රියාකාරීහු තහවුරු කරති.

තව ද, සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා සාපරාධී වරදක් ලෙස ‘අර්තකථනය’ කරනු ලබන දණ්ඩ නීති, සහ පාදඩ ආඥා පනත තවමත් පැවතීම හේතුවෙන් සමස්ත LGBTI වර්ණාවලියටම අයත් පුද්ගලයන් පොලීසියේ බියවැද්දීම් සහ ප්‍රචණ්ඩත්වයන්ට මුහුණ දීම යතාර්ථයක් බවට පත්ව තිබෙන පසුබිමක, මානව හිමිකම් කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ සහ පොලිස් චක්‍රලේඛය විසින් ඉලක්කකරනු ලබන්නේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් නැමැති නිශ්චිත පුද්ගල කොට්ඨාශය පමණි.

LGBTI පුද්ගලයන්ට එරෙහිව සිදුවන මානව හිමිකම් උල්ලංඝනයවීම්වලට වගකිව යුතු එකම පාර්ශවය පොලිස් නිලධාරීන් නොවන බැවින් නිශ්චිත ඉලක්කගත ප්‍රවේශයක් ගන්නා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාර්ගෝපදේශයන් මීට වඩා පුළුල් ලෙස ක්‍රියාත්මකකළ හැකි ඒවා විය යුතු ය. එමෙන් ම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ජාතික මානව හිමිකම් ආයතනවලට අදාළ වගකීම් ද ඇතුළුව, යෝගියකාර්ටා මූලධර්ම සහ යෝගියකාර්ටා මූලධර්ම+10 මඟින් නිර්දේශකර සිටින රාජ්‍ය වගකීම් ආමන්ත්‍රණය කිරීමට එකී මාර්ගෝපදේශ කටයුතු කර නොමැත. උදාහරණයක් ලෙස, LGBTI මානව හිමිකම් උල්ලංඝනය වූ සිදුවීම්වලට අදාළ දත්ත අනෙකුත් දත්ත සමූහයෙන් වෙන්කොට (disaggregation) ක්‍රියාමාර්ග ගත යුතු පොදු ගැටළු හඳුනා ගත හැකිය. අද වනතුරුත් මෙය ක්‍රියාත්මක කර නොමැත.  

හුදෙක් චක්‍රලේඛයක් මත පාලනය වීමක් සිදුවනු වෙනුවට, නෛතික ප්‍රතිසංස්කරණ මාදිලියේ දිගු-කාලීන ශක්තිමත් පියවර අධිවාචන න්‍යාය පත්‍රයේ ඉහළම පැවතිය යුතු ය. ලිංගික හා සමාජභාවී සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම තුළ සම්මුතිගත සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය (decriminalisation) කිරීම වැදගත් පළමු පියවරක් විය යුතු ය. මීට ඉහත, සියවස් ගණනක් පැරණි පාදඩ ආඥා පනත අහෝසි කරන මෙන්, සහ අවශ්‍ය නම් එම ආඥා පනතේ රඳවා තබා ගැනීමට අවශ්‍ය ඕනෑම කොටසක් සමාලෝචනය කොට දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිස්ථාපනය කරන මෙන් හෝ නිශ්චිත නීති සම්පාදනයක් හරහා එය සිදුකරන මෙන් නීතිවිශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම (ICJ) විසින් ඉල්ලීමක් කර තිබිණි. පාදඩ ආඥා පනතේ ප්‍රතිපාදන ප්‍රතිස්ථාපනය කිරීම සඳහා හඳුන්වා දෙනු ලබන ඕනෑම නව නීතියක් ශ්‍රී ලංකාව විසින් දරනු ලබන ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් හා අනුකූල විය යුතු ය. තව ද, ඉකුත් වසර කිහිපය පුරාවට සම්පාදනය වෙමින් පවතින සංක්‍රාන්ති සමාජභාවී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (Protection of Transgender Rights Bill) සඳහා සහාය දැක්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ජාතික අධිකාරීන් ක්‍රියාකාරීන් සමඟ එක්ව කටයුතු කිරීමට පියවර ගත යුතු ය. 

හුදෙක් මාර්ගෝපදේශ / චක්‍රලේඛ මඟින් මෙතෙක් තීරණය කර හෝ නොමැති තාවකාලික ආරක්ෂාවක් පමණක් සපයන අතරවාරයේ, දිගුකාලයක් මුළුල්ලේ ආන්තීකරණයට ලක්වූ LGBTI පුද්ගලයන් සඳහා ස්ථිර ආරක්ෂාවක් සැපයීමට ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට සහ ප්‍රමිතීන්ට අනුකූලව සම්පාදනයකළ දිගු-කාලීන ප්‍රතිසංස්කරණ ඉවහල්වනු ඇත.

Source: https://mawbima.lk/2023/08/05/lgbtiq