October 13, 2023 Bridge Team
මතුරි තමිල්මරන් විසිනි
රාජ්‍ය අමාත්‍යවරයකු විසින් මෑතකදී කළ ප්‍රකාශයක් සමග, ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට පුළුල් ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීමේ අවශ්‍යතාවය නැවත වරක් සාකච්ඡාවට බදුන් වී තිබේ.
2010 දී, එවකට අධ්‍යාපන අයිතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු විසින් මහා සභාවට සිය වාර්තාවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ” ලිංගික දිශානතිය හෝ සමාජභාවී අනන්‍යතාවය මත වෙනස් කොට සැලකීමකින් තොරව තම අනන්‍යතාවය තෝරාගැනීමට සෑම කෙනෙකුටම අයිතියක් ඇත. ලිංගික අධ්‍යාපනය සමාජයේ පවතින විවිධත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. විවිධ ලිංගික දිශානතියන්ගේ පුද්ගලයන්ට සිදුවන වෙනස් කොට සැලකීම් තුරන් කිරීම සඳහා ලිංගික අධ්‍යාපනය උපකාරී වේ. ශ්‍රී ලංකාවේ සමරිසි, ද්විරිසි සහ සංක්‍රාන්තික සමාජහාවී (LGBT) සිසුන් මුහුණ දෙන අත්දැකීම්වලින් පෙනී යන්නේ පුළුල් ලිංගික අධ්‍යාපනයට ලිංගික දිශානතිය සහ සමාජභාවී අනන්‍යතාවය සහ ප්රකාශනය (SOGIE) පිළිබඳ ඉගෙනීම ඇතුළත් විය යුතු බවයි. එය සිසුන්ට ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීමට උපකාරී වේ.
ලොව පුරා සිටින LGBT සිසුන් පාසල තුලදී, වෙනස්කම් කිරීම්, හිරිහැර කිරීම්, ප්රචණ්ඩත්වය සහ වෙනත් ආකාරයේ අපයෝජනයන්ට දිනපතා මුහුණ දෙයි. ශ්‍රී ලංකාවේ LGBT පුද්ගලයන් බොහෝමයක් දෙනා, ඔවුන්ගේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ අනෙකුත් සිසුන් විසින් සිදුකරන ලද ලිංගික ප්රචණ්ඩත්වයන් සහ පාසල තුලදී සිදුවන ලද අනෙකුත් අපයෝජනයන් ගැන කතා කරති.
එවැනි හිරිහැර කිරීම් සහ අපයෝජනයන් වල ස්වභාවය නිසා ඒවා වැළැක්වීමට අධ්‍යාපන අංශයේ බලධාරීන් කඩිනම්න් පියවර ගත යුතුය. එසේ වුවත් සාමාන්‍යයෙන් සිදුවන්නේ එවැනි සිසුන්ව තවදුරටත් හිරහැර කිරීම්වලට ලක් කිරීමට අනෙකුත් සිසුන්ව පොළඹවා ගැනීමයි.
මෙම හිරිහැර කිරීම් සහ අපයෝජනයන්ට මූලිකම හේතූන් වනුයේ සමාජභාවී භූමිකාවන් සහ සමාජභාවී ප්රකාශනයන් පිළිබඳ සමාජයේ පවතින හානිකර එකාකෘතීන්, සහ සංස්කෘතික විශ්වාසයන් ය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, LGBT සිසුන් බොහෝ විට විවිධ අපහාසයන්ට , කට කතාවලට, හුදකලා වීම් සහ අනෙකුත් අපයෝජනයන්ට මුහුණ දෙයි. එවැනි සිදුවීම් නිසා LGBT සිසුන්ට ඔවුන්ගේ කායික හා මානසික සෞඛ්‍යයයේ පිරිහීම් සහ වෙනත් හානිකර බලපෑම් සිදුවන බව පර්යේෂණවලින් පෙනී යයි. මෙනිසා තමා පිළිබඳව විශ්වාසය නැතිවී යාම, කාංසාව, වරදකාරි හැඟීම, මානසික අවපීඩනය, සහ සියදිවි නසා ගැනීම වැනි තත්ත්වයන්ට පවා ගොදුරු වේ. LGBT සිසුන්ට පාසැලේදී අනාරක්ෂිත බවක් දැනෙන නිසා ඔවුන් බොහෝ විට පන්ති මග හරියි.
මෙම නිසා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී රැකියා අවස්ථාවන් අහිමි වේ. එය ඔවුන්ගේ ආර්ථිකය අඩපණ කරයි. මේවා ලංකාවේ LGBT සිසුන් පාසල් ජීවිතය තුළ අදටත් මුහුණ දෙන සැබෑ ගැටළු වේ.
නීතිය
අධ්‍යාපන ආයතනවල සිදුවන ප්රචණ්ඩත්වය වැළැක්වීම උදෙසා 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත පනවන ලදී. පනතේ 17 වැනි වගන්තියේ සඳහන් අර්ථ නිරූපණයට අනුව ‘අධ්‍යාපන ආයතන’ වලට රජයේ පාසල් ද ඇතුළත් වේ. පනතේ ‘නවක වදය යන්නෙන් “අධ්‍යාපන ආයතනයක ශිෂ්‍යයකුට හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුට ශාරීරික හෝ මානසික හානියක් හෝ මානසික වේදනාවක් හෝ බියක් සිදු කරන හෝ සිදු කිරීමට ඉඩ ඇති යම් ක්‍රියාවක් අදහස් වේ. එසේම පනතේ සාපරාධී බිය ගැන්වීම් පිළිබඳ වගන්තියේ, “තර්ජිත තැනැත්තාට නීතියෙන් නියම කර නොමැති යම් ක්‍රියාවක් කරන ලෙස හෝ, ඒ ශිෂ්‍යයාගේ හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයාගේ ශරීරයට, කීර්තියට හෝ දේපළට, කීර්තියට හෝ දේපළට හානි සිදු කරන බවට වාචිකව හෝ ලිඛිතව තර්ජනය කිරීම” වරදක් ලෙස සටහන් කරයි.
ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12 වැනි ව්‍යවස්ථාව මගින් නීතිය ඉදිරියේ සමානව සැලකීමට ඇති අයිතිය සහ නීතියේ සමාන ආරක්ෂාව ලැබීමේ අයිතිය සහතික කරයි. 12 ව්‍යවස්ථාවේ 2 වන අනු ව්‍යවස්ථාව මගින් ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය, දේශපාලන මතය සහ උපන් ස්ථානය මත වෙනස් කොට සැලකීම් නොකල යුතු බව දක්වා ඇත. නමුත් එහි SOGIE පිළිබඳව කිසිදු සටහනක් නැත.
එහෙත්, ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ විවිධ ආයතන ඉදිරියේ පෙන්වා දී ඇත්තේ ’12(2) ව්‍යවස්ථාව යටතේ ලිංගික දිශානතිය පදනම් කරගෙන වෙනස් කොට සැලකීම ව්‍යංගයෙන් තහනම්’ කර ඇති බවත්ය.
ශ්‍රී ලංකාව සියලු මූලික ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම්වල පාර්ශවකරුවෙකි. එබැවින් මෙම ගිවිසුම් යටතේ ආරක්ෂා කර ඇති සමානාත්මතාවයේ සහ වෙනස් කොට සැලකීම් නොකිරීමේ අයිතිවාසිකම් ශ්‍රී ලාංකිකයන්ටද අදාළ වේ. ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූලව, LGBT සිසුන්ට ප්‍රචණ්ඩත්වයෙන් හා වෙනස් කොට සැලකීමෙන් තොර අධ්‍යාපනයක් ලබා ගැනීමේ අයිතිය හිමිව ඇත. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනය, අධ්‍යාපනයේ වෙනස්කම්වලට එරෙහි සම්මුතිය, කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් කිරීම් ඉවත් කිරීම පිළිබඳ සම්මුතිය (CEDAW) සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (CRC) යන සම්මුතීන් සියල්ලම අධ්‍යාපනයට ඇති අයිතිය ආරක්ෂා කරයි.
ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව (CRC කමිටුව), කාන්තාවන්ට එරෙහිව වෙනස් කොට සැලකීම තුරන් කිරීම පිළිබඳ කමිටුව (CEDAW කමිටුව) සහ මානව හිමිකම් කමිටුව ඇතුළු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ගිවිසුම් ආයතන SOGIE මත පදනම් වූ ප්රචණ්ඩත්වය සහ වෙනස් කොට සැලකීම් පිළිබඳව බොහෝ අවස්ථාවල කණගාටුව පළ කර ඇත. එසේම LGBT ළමුන්ට පාසල් තුළදී සිදුකරන හිරිහැර, සහ නෙරපා හැරීම් තහනම් කිරීමට, වැළැක්වීමට සහ ඒවාට දඬුවම් කිරීමට පියවර ගන්නා ලෙස රාජ්‍යයන්ගෙන් ඉල්ලා ඇත. තවද, අධ්‍යයනයන් සිදුකර අධ්‍යාපනය සම්බන්ධ සංඛ්‍යාන දත්ත රැස්කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව CEDAW කමිටුව අදහස් දක්වා ඇත. අධ්‍යාපන ආයතනවල සිදුවන සියලුම ආකාරයේ කායික හෝ මානසික ප්‍රචණ්ඩත්වයෙන් ළමයින් ආරක්ෂා කිරීමට CRC සම්මුතිය හා බැඳී ඇති රාජ්‍යයන්ගේ වගකීම වේ. එමගින් ළමුන්ට හිමිව ඇති වෙනස් කොට සැලකීමෙන් වැලකීමට ඇති අයිතිය, ජීවිත් වීමේ අයිතිය, වර්ධනයට ඇති අයිතිය සහ ඔවුන්ව ඇසීමට ඇති අයිතිය සඳහා ප්රමිතීන් සකසයි.
CRC කමිටුව විසින් 2003 අංක 4 දරන නව යොවුන් වියේ ළමුන්ගේ සෞඛ්‍යය සහ සංවර්ධනය පිළිබඳ General Comment එකක් නිකුත් කරන ලදී. එමගින් ‘යොවුන් විය’ සහ ‘ලිංගික දිශානතිය’ සම්බන්ධව වෙනස්කොට සැලකීම් නොකිරීමේ අයිතිය සහතික කරන ලදී. එහි 2011 අංක 13 දරන සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ගෙන් නිදහස් වීම පිළිබඳ General Comment එක ‘සමරිසි, සහ ‘සංක්‍රාන්තික සමාජභාවී දරුවන් අවදානමට ලක්විය හැකි තත්වයේ සිටින බව ද හඳුනාගෙන ඇත. තවද, එහි 2016 අංක 20 දරන නව යොවුන් වියේ දරුවන්ගේ අයිතීන් පිළිබඳ General Comment එක සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්තික සමාජභාවී සහ අන්තර් ලිංගික නව යොවුන් වියේ දරුවන් අපයෝජන සහ ප්රචණ්ඩ ක්‍රියා, නොයෙකුත් අපවාද, වෙනස්කොට සැලකීම්, හිරිහැර කිරීම්, අධ්‍යාපනයෙන් බැහැර කිරීම් වලට මුහුණ දෙන බව සඳහන් කර ඇත. CRC කමිටුව සියලුම නව යොවුන් වියේ දරුවන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය, ඔවුන්ගේ සමාජභාවය සහ ස්වාධීනත්වය සඳහා ගරුත්වයට ඇති අයිතිය අවධාරණය කළේය. SOGIE මත පදනම්ව සිදු වන අපරාධ හෝ වෙනස් කොට සැලකීම් කරන සියලුම නීති අවලංගු කිරීමට සහ වෙනස් කොට සැලකීමට එරෙහි නීති පැනවීමට, සහ ඒවා පිළිබඳව දැනුවත් කිරීම් සිදුකිරීමට මෙම කමිටුව රජයන්ට ආරාධනා කරයි.
විද්‍යාත්මක සාක්ෂි සහ මානව හිමිකම් ප්රමිතීන් මත පදනම් කොටගෙන සවිස්තරාත්මක, නිවැරදි සහ වයසට ගැළපෙන තොරතුරු අඩංගු අනිවාර්ය ලිංගික අධ්‍යාපනය විෂය මාලාවට ඇතුළත් කරන ලෙස CRC කමිටුව තවදුරටත් රජයන්ගෙන් ඉල්ලා සිටියි. කමිටුවට අනුව, එම විෂය මාලාවට ‘සමාජභාවී සමානාත්මතාවය, ලිංගික විවිධත්වය, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අයිතීන්, දෙමාපිය වගකීම්, ලිංගික හැසිරීම් සහ ප්රචණ්ඩත්වය වැලැක්වීම, ගැබ් ගැනීම් වැළැක්වීම සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන’ පිළිබඳ විස්තර ඇතුළත් විය යුතුය.
2018 දී ශ්‍රී ලංකාව පිළිබඳ එහි නවතම සමාලෝචනයේදී, CRC කමිටුව SOGIE පදනම් කරගෙන සිදු වූ වෙනස්කොට සැලකීම් සහ ළමයින්ට එරෙහි ප්රචණ්ඩත්වය පිළිබඳ මතු කළේය. එහි අවසාන නිරීක්ෂණවලදී, වෙනස්කොට සැලකීම්වලදී ‘සමරිසි, ද්විරිසි, සංක්‍රාන්තික සමාජභාවී සහ අන්තර් ලිංගික ළමුන් ආරක්ෂා කිරීමට නිශ්චිත සහ ඉලක්කගත ක්‍රියාකාරකම් ඇතුලත් වූ ක්‍රියාකාරී සහ පුළුල් උපාය මාර්ගයක් අනුගමනය කිරීමට කමිටුව නිර්දේශ කරයි. කැමැත්ත මත සිදු වන ලිංගික ක්‍රියාකාරකම් නිර්සාපරාධීකරණය කිරීම, නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින් විසින් සංක්‍රාන්තික සමාජභාවී දරුවන්ට හිරිහැර කිරීම වැලකීම සහ LGBT සහ අන්තර් ලිංගික දරුවන්ට එරෙහි ලිංගික අපයෝජන සහ අනෙකුත් ප්රචණ්ඩ ක්‍රියා සිදු කරන අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට මෙය ඉලක්ක කරයි.
2007 යෝග්‍යකර්තා මූලධර්මවල (SOGIE සම්බන්ධයෙන් ඇති ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ මූලධර්ම සමූහයකි) 16 මූලධර්මය සහ 2017 යෝග්‍යකර්තා මූලධර්ම Plus 10 මගින් අධ්‍යාපනයට ඇති අයිතිය සහ කොන් කිරීම හෝ බැහැර කිරීමකින් තොරව සියලුම සිසුන්ට සමානව සැලකීමට ඇති බැඳීම පිළිබඳ ජාත්‍යන්තර නීති කොන්දේසි යළි තහවුරු කරයි. එසේම ඒවා මගින් SOGIE පදනම් වූ හිරිහැර කිරීම් සහ ප්රචණ්ඩත්වය වැළැක්වීමට රාජ්‍යයන් ඉල්ලා සිටියි.
සිය අයිතිවාසිකම් ගැන නොදන්නා සහ/හෝ ඔවුන් මුහුණ දිය හැකි අපවාද සහ අපයෝජන හේතුවෙන් තම SOGIE තත්වය හෙළි කිරීමට බිය වන LGBT සිසුන් සිටී. එවැනි සිසුන් නිහඬව දුක් විඳිති.
ශිෂ්‍යයන් ඇතුළු LGBT පුද්ගලයින්ට ඔවුන්ගේ ස්වභාවය “නීති විරෝධී” නොවන බවට සලකා බියෙන් තොරව ජීවත් වීමට අවශ්‍ය පළමු පියවර වනුයේ කැමැත්ත මත පවතින සමරිසි ලිංගික සම්බන්ධතා නිර්සාපරාධීකරණය කිරීමයි. LGBT පුද්ගලයන්ගේ මානව හිමිකම් සහතික කිරීම සඳහා ව්‍යවස්ථාව මගින් SOGIE මත පදනම්ව වෙනස්කොට සැළකීම මූලික අයිතිවාසිකමක් කඩවීමක් බව සැලකීම සහ/හෝ SOGIE මත පදනම්ව වෙනස්කොට සැළකීම තහනම් කරමින් වෙනත් නීතියක් පැනවිය හැක.
හිරිහැර කිරීම්වලට එරෙහිව ප්‍රතිපත්ති සහ නීති පැනවීම, SOGIE පිළිබඳ ගුරුවරුන් පුහුණු කිරීම, නවක වදයට එරෙහි පනත භාවිතා කිරීම සහ පුළුල් ලිංගික අධ්‍යාපනය විෂය මාලාවට එකතු කිරීම මගින් LGBT සිසුන් සඳහා බියෙන් තොරව ජීවත් වීමට පරිසරයක් ගොඩනැගිය හැකිය. මෙමගින් LGBT සිසුන්ට ආරක්ෂිත හැඟීමක් ඇති කර ඔවුන් පාසලට පැමිණීම වැඩි කිරීමට හැකිය. ශ්‍රී ලංකාව තුළ දශක ගණනාවක් පටන් LGBT සිසුන් හිරිහැර කිරීම්, හිරිහැර කිරීම් සහ අපයෝජනයන්ට මුහුණ දී ඇත. රජය මැදිහත් වී ඔවුන් ආරක්ෂා කිරීමට කාලයන් දැන් එළඹ තිබේ.
(ලේඛකයා- ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමේ ශ්‍රී ලංකාව තුළ දේශීය නීති උපදේශක)