වැට කොටු බැඳි රටක, සමරිසි ප්‍රේමයට approval තියෙනවද?

November 23, 2023 Bridge Team


පහුගිය මාසය පුරාවටම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අපේ තුලාව සංසදයේ මූලිකත්වයෙන්  පාසල් සිසුන්ව නීතිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පාසල්වල පැවැත්වුවා. අපි කොළඹ අවට පාසල්වල වගේම කොළඹින් පිටත පාසල්වලද මේ වැඩසටහන් පැවැත්වුවා. ඒ හැම වැඩසටහනකදීම පාසල් සිසුන් බොහෝදෙනා ඔවුන්ගේ නොයෙක් ප්‍රශ්න අපට යොමු කළා. ඔවුන්ගේ ප්‍රශ්නවලට ගැළපෙන ආකාරයට අපි අපේ අත්දැකීම් සහ දැනුම ඔවුන් සමඟ බෙදා ගත්තා. ඒ හැම දවසක්ම ජීවිතයට අලුත් අත්දැකීමක් වුණා. මම දේශන කරපු බොහෝ පාසල්වලදී අපිට ආපු චිට්වල ලියැවිලා තිබුණු  ප්‍රශ්න අතරින් එක පොදු ප්‍රශ්නයක් තිබුණා. ‘සමලිංගික සම්බන්ධතා නීතියෙන් තහනම්ද?’ 

ඇත්තෙන්ම මේ සමලිංගික සම්බන්ධතා සමඟ බැ¾දුණු නීතිමය තත්ත්වය ගැන පාසල් සිසුන් වගේම බොහෝ තරුණ තරුණියන් අතරත් තිබෙන දැනුම ඉතාමත් අල්පයි. සමරිසි ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යෑම නීතියෙන් වරදක් බව බොහෝ දෙනා සිතනවා. කොටින්ම සමරිසි ප්‍රේමයක් ඇති වීම පවා මානසික ව්‍යාධියක් නිසා සිදුවන දෙයක් බව සමහරු සිතනවා. ඇත්තටම සමලිංගික සේවනය නීතියෙන් තහනම්ද? අද අපි මේ ගැන කතා කරමු.

මිනිසුන්ගේ කැමැත්ත, ආශාවන් විවිධාකාරයි. මම තරුණියකට ආදරය කිරීම සමාජ සම්මතය අනුව සාමාන්‍ය තත්ත්වයක් ලෙස පිළිගැනෙනවා. නමුත් මගේ වයසේම පිරිමියෙක් තවත් පිරිමියෙක්ට ආදරය කළහොත්, එසේ නැත්නම් කාන්තාවක් තවත් කාන්තාවකටම ආදරය කළහොත් එය ලංකාවේ සමාජ සම්මත අනුව නම් සාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකන්නේ නැති බව අපි හැමෝම හොඳින්ම දන්නා යථාර්ථයක්. නමුත් අද වනවිට ලෝකයේ බොහෝ රටවල් සමලිංගික, සමරිසි සම්බන්ධතාද විරුද්ධ ලිංගික සම්බන්ධතා මෙන් සාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකනවා. නීතියෙන් පවා සමලිංගික සම්බන්ධතාවන්ට ඉඩක් ලබාදී තිබෙනවා.

ස්වීඩනය, බෙල්ජියම, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, නෝර්වේ, ප්‍රංශය වැනි රටවල් සමලිංගික සම්බන්ධතාවලින් තවත් එහාට ගොස් සමලිංගික විවාහයන්ට පවා නීතියෙන් අවසරය ලබාදීමට කටයුතු කර තිබෙනවා. අසල්වැසි ඉන්දියාවේ පවා 2018 වර්ෂයේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීරණයක් ප්‍රකාරව සමලිංගිකත්වය අපරාධයක් ලෙස සැලකූ ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය ඉවත් කිරීමට කටයුතු කර ඇත. මෙලෙසින් ලෝකයේ දියුණු රටවල් එවැනි ප්‍රගතිශීලී ගමන් මාර්ගයකට ඉදිරියට යන විට ලංකාව තවමත් බි්‍රතාන්‍ය යටත්විජිත දායාදයන්වල සිර වී සිටීම ඇත්තෙන්ම විශාල ඛේදවාචකයක්.

ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව සමලිංගිකයන් අතර සිදුවන ලිංගික සම්බන්ධතාවන් වක්‍රාකාරයෙන් තහනමට ලක්කර ඇත. මෙලෙස සමලිංගික සම්බන්ධතා  අපරාධමය වරදක් බවට පත් කළ හැකි නීතිමය ප්‍රතිපාදන ලංකාවට උරුම වූයේ බි්‍රතාන්‍ය යටත්විජිත පාලනයේ ප්‍රතිඵලයක් ලෙසයි. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තියේ අස්වාභාවික වැරැදි යටතේ මෙයට අදාළ විධිවිධාන ඇතුළත් කර ඇති බව පෙනේ.

365 වගන්තිය අනුව යම් පුරුෂයකු, ස්ත්‍රියක හෝ සතකු සමඟ ස්වභාවධර්මයට විරුද්ධව කැමැත්තෙන්ම කාමුක සංසර්ගයෙහි යෙදෙන තැනැත්තකුට අවුරුදු දහය දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයකට  බන්ධනාගාරගත කිරීමකින් සහ දඩයකින් දඬුවම් කිරීමට අධිකරණයට බලය ලැබෙනවා. මේ වගන්තියේ කියවෙන ‘ස්වභාව ධර්මයට විරුද්ධ’ ක්‍රියාව කුමක්දැයි නිශ්චිතවම දණ්ඩ නීති සංග්‍රහය තුළ පැහැදිලි කර නැහැ. ඒ වුණත් සමාජ සම්මතය අනුව නුසුදුසු, වැරැදි ක්‍රියාවක් ලෙස සලකන පිරිමියෙක් – පිරිමියෙක් අතර පවතින ලිංගික සම්බන්ධතාවක් සහ කාන්තාවක් – කාන්තාවක් අතර පවතින ලිංගික සම්බන්ධතාවක් ‘ස්වභාව ධර්මයට විරුද්ධ’ ක්‍රියාවක් ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කරන බව පෙනෙනවා.

වර්ෂ 1995ට පෙර දණ්ඩ නීති සංග්‍රහයේ 365 (අ) වගන්තිය යටතේ පුරුෂයන් සහ පුරුෂයන් අතර සිදුවන තදබල අශෝභන ක්‍රියාවන් අපරාධමය වරදක් බවට පත් කර තිබෙනවා. මෙහි එන ‘තදබල අශෝභන ක්‍රියා’ යන්නට සමලිංගික සම්බන්ධතාද ඇතුළත් වන ආකාරයට නීතිය ක්‍රියාත්මක කරන බව තිබෙනවා. 1995දී දණ්ඩ නීති සංග්‍රහයට ගෙන ආ සංශෝධනය මඟින් එතෙක් පුරුෂයන් – පුරුෂයන් අතර පවතින ලිංගික සම්බන්ධතාවන්ට පැවැති තහනම කාන්තාවන් – කාන්තාවන් අතර පවතින ලිංගික සම්බන්ධතාවන්ටද අදාළ වන ආකාරයට වෙනස් කරනවා.

ඒ අනුව 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත අනුව 365(අ) වගන්තිය යටතේ කාන්තාවන් අතර සිදුවන ලිංගික සබඳතාද අපරාධමය වරදක් බවට පත් කර ඇත. 365 (අ) වගන්තිය අනුව ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ වෙනත් තැනැත්තකු සමඟ යම් දැඩි අශිෂ්ට ක්‍රියාවක් සිදු කරන යම් තැනැත්තකු වසර දෙකක් දක්වා දීර්ඝ විය හැකි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එම බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකින්ම දඬුවම් කිරීමටද අධිකරණයට බලය හිමි වෙනවා. මේ අනුව දැනට ක්‍රියාත්මක වන දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්තිය තුළින් සමලිංගිකයන් අතර පවත්වන ලිංගික සම්බන්ධතා පැවැත්වීම වක්‍රාකාරයෙන් තහනම් කර තිබෙනවා.

සමලිංගික සබඳතා සම්බන්ධව ලංකාවේ පවතින මේ නීතිමය තත්ත්වය යටතේ 2016 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුවක් ඇත. එම නඩු තීන්දුවෙන් අත්හිටු වූ සිරදඬුවම් ලබා දී ඇත. මේ නඩු තීන්දුවේ පවතින විශේෂත්වයක් වන්නේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ, ශ්‍රේෂ්ඨාධිකරණ ඊවා වනසුන්දර සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න ඇතුළු විනිසුරු මඬුල්ල පවසා සිටියේ, ‘වර්තමාන චින්තනය අනුව වැඩිහිටියන් අතර සිදුවන ලිංගික ක්‍රියා රාජ්‍යය විසින් පාලනය කළ යුතු නැති අතර එය සාපරාධීකරණයට හේතුවක්ද නොවිය යුතුයි.’ මේ නඩු තීන්දුව එක්තරා ආකාරයකට මෙම නීතිමය විධිවිධාන දෙස අධිකරණය විසින් ප්‍රගතිශීලි, නිදහස් කෝණයකින් බලන බවට පැහැදිලි වන නඩු තීන්දුවක් ලෙසද සැලකිය හැකියි.

කෙසේ නමුත් දණ්ඩ නීති සංග්‍රහය මඟින් තහනම් කර තිබෙන්නෙ සමලිංගිකයන් අතර පවතින ලිංගික සබඳතා පමණයි. සමලිංගිකයන් අතර පවතින ප්‍රේම සම්බන්ධතාවකට ලංකාවේ නීතියෙන් තහනමක් පනවා නැහැ. තවදුරටත් පැහැදිලි කළොත් පිරිමියෙක් – පිරිමියෙක් අතර හෝ කාන්තාවක් – කාන්තාවක් අතර සිදුවන ලිංගික සබඳතාවන් නීතියෙන් අපරාධමය වරදක් ලෙස සැලකුවද පිරිමියෙක් – පිරිමියෙක් අතර හෝ කාන්තාවක් කාන්තාවක් අතර තිබෙන ආදර සම්බන්ධතාවකට නීතියෙන් කිසිදු බාධාවක් නැහැ. මේ අනුව සමලිංගික ආදර සම්බන්ධතා පැවැත්වීම ලංකාවේ නීතියෙන් තහනම් කර නැහැ. ලංකාවේ සමාජ සම්මතයන් කුමක් වුණත් ආදරයට ලිංගයෙන්වත්, නීතියෙන්වත් සීමාවක් දැමිය නොහැකි බව අප තේරුම් ගත යුතුයි. විෂම ලිංගික වුණත්, සමලිංගික වුණත් ආදරය ආදරයමයි. ඔබ මම දියුණු රටක්, දියුණු සමාජයක් බිහිවනු දැකීමට කැමැති නම් පළමුව මෙවැනි සමලිංගික ආදර සම්බන්ධතා දෙසත් සාමාන්‍ය නිදහස් මනසකින් බැලිය යුතුයි. ලබන සතියේත් මෙවැනිම වැදගත් ලිපියකින් අපි හමුවෙමු.

ධනංජය ඉෂාන්
උසස් පෙළ දේශපාලන විද්‍යාව
දේශක නීති ශිෂ්‍ය – කොළඹ විශ්වවිද්‍යාලය


මව්බිම පුවත්පතෙන් උපුටාගත් ලිපියකි.