කෙන්යාවේ පවත්වාගෙන යන රහසිගත LGBT දේවස්ථානය

January 23, 2024 Bridge Team


“ ‘මම කළු ජාතිකයෙක්‌, මම සමලිංගිකයෙක්, මම පූජකයෙක්’ මේවා පරස්පර විරෝධී වචන යැයි ජනතාව සිතනවා.

නමුත් මේ වදන් තුන කියන්න පුළුවන් තැනක මම ඉඳීවි කියලා පූජකයෙක් විදියට මගේ ජීවිතයේ කිසිවිටෙකත් මම හිතුවේ නැහැ. මේ පල්ලියට ඉස්සෙල්ලම ආපු දවසේ මම ඇඬුවා.”

ජෝන් පූජකවරයා මේ කියන්නේ විශේෂ දේවස්ථානයක් ගැන. කෙන්යාව මධ්‍යයේ තිබෙන මේ පල්ලිය දශකයක් තිස්සේ බේරී තිබෙන්නේ එය රහස්‍ය අයුරින් පවත්වා ගෙන ආ නිසා. ආගමට ඉතාමත් ලැදි කෙන්යාවේදී මේ දේවස්ථානය පවත්වන දේව මෙහෙයන් පිළිබඳව ප්‍රසිද්ධ නොකරන්නේ එය ආගම අදහන LGBT සමලිංගිකයන් සාදරයෙන් පිළිගන්නා පල්ලියක් වන බැවින්.

ජෝන් දේවගැතිවරයා මුලින් පූජක පදවියට ඇතුළත් කර ගැනුනේ ප්‍රධාන ප්‍රවාහයේ දේවස්ථානයක. නමුත් ඔහුගේ ලිංගිකතාව පාපයක් බවත් ඔහු බ්‍රහ්මචාරියෙක් ලෙස රැඳී සිටීම අවශ්‍ය බවත් පල්ලියේ ප්‍රධානීන් පැවසූ බැවින් ජෝන් ඔහුගේ මීසම හැර ගියා.

තමා දැන් ආගම දේශනා කරන දේවස්ථානය පිළිබඳව ජෝන් දැනගත්තේ සමාජ මාධ්‍යයෙන්. නමුත් බොහෝ අය මේ ස්ථානය සොයා ගන්නේ කට වචනවලින්. ‘ජෝන්’ මෙන්ම මේ කතාවේ පසුව යෙදෙන නම් ද මේ පුද්ගලයන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම පිණිස වෙනස් කරනු ලැබූ නාමයන්.

මේ ආගමික සභාවේ සාමාජිකයන් ඔවුන් එක්රැස්වන ස්ථානවල තොරතුරු වෙනත් අය සමග බෙදා ගන්නේ ඉතාමත් කල්පනාවෙන්. මේ සමාජයට බැඳීමට කැමැත්තක් දක්වන පුද්ගලයන්ට ඒ සඳහා ආරාධනා කෙරෙන්නේ ඔවුන් ගැන සූක්ෂමව පරීක්ෂා කිරීමෙන් පසුව පමණ යි. මීට හේතුව වනුයේ එය උගුලක් හෝ එම පුද්ගලයා ද්වේෂ සහගත කෙනෙකු නොවන බවට සැකහැර දැනගැනීම යි.

පරෙස්සම හා ආරක්ෂාව අන් සියල්ල ට ම වඩා ප්‍රධාන බව පල්ලියට එක්රැස් වන මේ පුද්ගලයන් අවබෝධ කරගෙන සිටිනවා.

සමලිංගික සේවනයේ යෙදෙන පිරිමි හා කාන්තා සංවිධානවලට රාජ්‍ය නොවන සංවිධාන ලෙස ලියාපදිංචි වීම සඳහා පනවා තිබූ තහනම කෙන්යාවේ ඉහළ ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය වසරේ ඉවත් කළ ද මැදහත් සමාජයක් තිබෙන කෙන්යාවේ සමලිංගික සේවනය නීතිවිරෝධී යි.

එක් උණුසුම් හා මඳ පවන් ඇති ඉරු දිනෙක පුද්ගලයින් තිස්‌දෙනෙක් පමණ දේව මෙහෙයකට රැස්වන විට විශේෂ ලක්ෂණ කිසිවක් නැති ගොඩනැගිල්ලේ කාමරයෙන් සංගීතය ගලා එමින් තිබුනා.

“අපි පටන් ගන්න ලෑස්තියි. අපි ඇස් වහගෙන භාවනා කරමු” යනුවෙන් කළු දිග ලෝගුවක් හා තද රතු උර සළුවක් ඇඳගත් පෝලීන් පූජකවරිය පවසන විට මුළු කාමරය ම නිහඬ වෙනවා.

පෝලීන් ලෙස්බියනියක්. එකිනෙකාට උදව් කර ගැනීම පිණිස පල්ලියට මුලින් ම ආවේ මිතුරියන් කිහිප දෙනෙකු පමණක් බව මේ දේවස්ථානයේ නිර්මාතෘවරියක වන පෝලීන් කියනවා.

“කෙනෙක්ව පල්ලියෙන් ඉවත් කළ විට, එහෙම සිද්ධ වෙච්ච තවත් අය ඉන්නවාද කියලා දැනගන්න බලවත් උනන්දුවක් ඇතිවෙනවා” යැයි ආගමික සභාවෙන් තමාව ඉවත් නොකළත් ප්‍රධාන ප්‍රවාහයේ කිසිම දේවස්ථානයක් තමාව පිළිගන්නා බවක් කිසිදිනෙක දැනී නැති පෝලීන් සඳහන් කරනවා.

“තමන් සමලිංගිකයන් බවට සහතික ලෙස ප්‍රකාශ කරන ක්‍රිස්තියානුවන් මුණගැසෙන්න අපට උවමනා වුනා.”

වයස අවුරුදු 12දී ඇගේ පියා HIV/Aids රෝගයෙන් මිය යාමෙන් පසුව තමා පිටස්තරයකු වී ඇතැයි යන හැඟීමක් පෝලීන්ගේ ජීවිතය වෙලා ගෙන තිබෙනවා.

“මගේ පියා නැතිවුනයින් පස්සේ මිනිස්සු අපට වෙනස් විදියට සළකන්න පටන් ගත්තා. අපි ඔක්කෝටම HIV තියෙනවා කියලා ඔවුන් හිතුවා. මගේ අම්මාට කෑම බෙදුවේ වෙන ම පිඟන් හා කෝප්පවලට. සමහර තැන්වලට අපි එන එක නැවැත්තුවා. අපට යන්න බැරි එක තැනක් වුනේ පල්ලිය. මොකද, මිනිස්සු හිතුවේ මගේ මව අපිරිසිදුයි කියලා” යනුවෙන් පෝලීන් කියනවා.

මේ නිසා පෝලීන් සහ ඇගේ මිතුරියන් ආගමික දේශනාවන් YouTubeවලින් බැලීම පිණිස ඉරිදා දිනවල හමුවුනේ අනෙක් LGBT කෙන්යානුවන් ට ද මේ බව දන්වමින්.

නැගෙනහිර අප්‍රිකාව තුළ සමලිංගික විරෝධී අතිශයෝක්තිය අදහස් වැඩෙන්නට පටන් ගත්තේ මේ වකවානුවේ. ඉතා දරුණු සමලිංගික විරෝධී අලුත් නීතියක් හඳුන්වා දීමේ විවාදයක් අසල්වැසි උගන්ඩාවේ ඒ වන විට ආරම්භ වී තිබුනා.

තව අවුරුදු 10කින් පෝලීන් ඇතුළු කුඩා පිරිස සාමාජිකයින් 200කට වැඩි කණ්ඩායමක් දක්වා වර්ධනය වනු ඇතැයි ඒ මොහොතේ ඔවුන් දැනසිටියේ නැහැ. තමන් කළින් නමස්කාර කළ ස්ථාන අතහැර යාමට බල කෙරෙන බවක් මේ බොහෝ දෙනෙකුට දැනී තිබුනා.

රෙජීනාගේ කතාව වෙනස්. ඇයට මේ රහස් දේවස්ථානයට ඒමට සිදුවුනේ ඇය කළින් සිටි පල්ලියේ විවිධ ඉසව් සංවිධානය කළ ස්වේච්ඡා කණ්ඩායමේ සිටි සහෝදර සේවකයෙක් ඇයව පාවා දුන් නිසා.

ඇයට මිතුරියක් සිටින බව ස්වේච්ඡා සේවකයා දැනගත් පසුව එම කණ්ඩායම ඇයට අන්තිම යෝජනාවක් කළා. ඇයව හෝ අපිව තෝරගන්න!

“මට ඒක දැනුනේ පාවාදීමක් ලෙසින්. මම කණ්ඩායමේ කිහිප දෙනෙකුට මගේ මිතුරිය ගැන කිවුවා. ඊට පස්සෙ මට තවදුරටත් එයාලගෙ කණ්ඩායමේ කෙනෙක් විදියට ඉන්න බැරිවුනා. එතන හිටියේ වෙනස් විදියේ පුද්ගලයන්ට හොඳ හිත දෙන්න බැරි මිනිස්සු.”

රෙජීනා තෝරා ගත්තේ ඇගේ මිතුරියව. ඊට දශකයකට පසුව, ක්‍රිස්තියානි විශ්වාසය හා ප්‍රජාව සමග නැවත සම්බන්ධ වීමේ මහත් ආශාවෙන් යුත් චාරිකාව විසින් ඇයව ගෙන එනු ලැබුවේ සමලිංගිකයන්ව හොඳින් පිළිගන්නා මේ දේවස්ථානයට.

“දෙවියන් වෙත පිවිසෙන්න මාර්ගයක් මට නැති බවක් හැඟුනු කාලයක් මට තිබුනා. මම එතෙක් අහලා තිබුනු එක ම දේ වුනේ මම පව්කාරියක් කියලා. දෙවියන්ට කතා කරන එක ක්‍රමයක් යාඥාව නම්, මම යාඥා කරන්නේ කොහොමද? කොහේ සිට ද? විශ්වාසය තියෙන ප්‍රජාවකට ආපසු පැමිණීමෙන් මට අතීත වේදනාවෙන් මිදෙන්න පුළුවන් වෙලා තියෙනවා” ඇය කියනවා.

එසේ වුනත්, මේ ආගමික සභාවට හැමවිටක ම කරුණු කාරණා පහසු වී නැත්තේ ඔවුන් නොයෙකුත් ප්‍රහාරයන්ට මුහුණ දුන් බැවින්. මේ දේවස්ථානය ආගම අදහන LGBT පුද්ගලයන් පිළිගැනීම නිසා ගෙවල් හිමියා හෝ ඒ වටා සිටින ප්‍රජාව සතුටු නොවන අවස්ථාව එක් උදාහරණයක්.

නියමිත වෙලාවට කුලිය ගෙවා තිබියදීත් ඔවුන්ව පිටතට දමා පරිශ්‍රයට යතුරු දමා තිබෙනවා. බඩුබාහිරාදිය පැහැර ගෙන තිබෙනවා. සාමාජිකයන්ට පහර දී තිබෙනවා. ආරක්ෂාව සැපයීම සඳහා පොලිසිය කප්පම් ඉල්ලා තිබෙනවා. එය ලබා නොදුන්නොත් ඔවුන්ට පහර දී අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කර තිබෙනවා. මේ පිරිස ඔවුන්ගේ අවුරුදු දහයක කාලය තුළ ඔවුන් සිටින ස්ථානය නව වතාවක් වෙනස් කර තිබෙන්නේ ඔවුන්ගේ පිහිටීම රහසක් වශයෙන් තබා ගැනීම පිණිස.

කෙන්යාවේ සමාජය සමලිංගිකයන්ට හා සමලිංගිකත්වයට ප්‍රසිද්ධියේ ම තදින් එරෙහි වෙමින් තිබෙන තත්ත්වයක් හමුවේත් දේවස්ථානයේ පැවැත්ම නොනැවතී තිබෙනු දැකීමට මේ ආගමික සභාවේ බොහෝ සාමාජිකයන්ට උවමනා වී තිබුනත් සමහර සාමාජිකයින් තමන්ගේ ආරක්ෂාව තකා ඔවුන්ගේ නිවෙස් සමීපයේ තිබෙන දේවස්ථානවලට යාම පිළිබඳව සලකා බලමින් සිටින බව පෝලීන් කියනවා.

“අපි‌ මේ පල්ලිය පටන් ගත්තම, මේ ස්ථානය මෙච්චර වැදගත් තැනක් වේවි කියා අපි හිතුවේ නැහැ. නමුත් අපිට මේක දැන් අතහරින්න බැහැ. ඉදිරියට යන්න පුළුවන් විදියක් ගැන අපට හිතන්න වෙනවා.”

“අපේ විශ්වාසයන් හා සම්ප්‍රාදයන් එ් විදිය ට ම තියෙද්දී අපි එකිනෙකාට ගරු කරන සමබරතාවක් සොයා ගැනීම පිණිස මේ පල්ලිය සියළු දෙනාටම විවෘතව තබා ගන්නයි මට තියෙන උවමනාව!” පෝලීන් පවසනවා.

Source: https://theleader.lk/lgbtq/21510-lgbt